ලොව ප්‍රචලිත සටන් කලාවන්.

Sunday, January 27, 2013

භූමි සටන් ක්‍රම (Ground Fighting)

ශ්‍රී ලංකාවේ සටන් කලාව හදාරන්නන් 'භූමි සටන් ක්‍රම' (Ground Fighting) ගැන නොදන්නා තරම්ය. මන්ද, ලංකාවේ පමණක් නොව තවමත් ලොව බොහෝ දෙනා සිතා සිටිනුයේ සටන් කලාවක ඇත්තේ පා පහරවල්, අත් පහරවල් සහ වැලකිලි පමණක් කියාය. (Kicks, Punches & Blocks) එසේ වීමට හේතුව වී ඇත්තේ සටන් කලාවක කතා වෙන සටන් පරාසයන් පිළිබඳව නිසි දැනුමක් ඔවුන් සතු නොවීමයි.

සටන් ක්‍රම ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදිය හැකිය.

1. සිටගෙන කරනා සටන් (Stand-up fighting)
2. භූමි සටන් (Ground Fighting)

මෙම කාරණය ඉතාමත් සූක්ෂමව විමසාගත යුත්තකි. සැබවින්ම සටනක් සිදු වන්නේ පහත සඳහන් පරාසයන් තුලදී පමණි.

1. පා පහරේ පරාසය (Kicking Range) - දිගුම සටන් පරාසය
2. අත් පහරේ පරාසය (Boxing Range)
3. සතුරා උගුලට හසුකර ගැනීමේ පරාසය (Trapping Range)
4. පොර බැඳීමේ පරාසය (Grappling Range) - කෙටිම සටන් පරාසය

ඉහත සටන් පරාසයන් වලට අයත් නොවන පරාසය 'සටන් මුක්ත පරාසය' හෙවත් 'සටනක් සිදු නොවන පරාසය' ලෙස හැඳින්වේ.
(සටන් පරාසයන් පිලිබඳ ලිපියක් මින් පෙරද පලකර ඇති අතර තවත් සවිස්තරාත්මක ලිපියක් ඉදිරියේදී බලාපොරොත්තු වන්න!)

උක්ත සටන් පරාසයන් ක්‍රියාත්මක වන්නේ 'සිටගෙන කරනා සටන්' (Stand-up fighting) ක්‍රමයේදීය. එනමුත් මාතෘකා ප්‍රකාරව 'භූමි සටන්' වලට යාමට නම් සටන් කරුවා අනිවාර්යයයෙන්ම 'සිටගෙන කරනා සටන්' ක්‍රමයේ අන්තර්ගත 'පොර බැඳීමේ පරාසය' (Grappling Range) වෙත ඇතුළු විය යුතුය. එලෙස පොර බැඳීමේ පරාසයට ඇතුලත් වී ප්‍රතිවාදියාව බිම වට්ටවා ගැනීම තුලින් භූමි සටන් ක්‍රම ඇරඹේ. මෙතැනදී පටලවා නොගත යුතු කරුණක් වන්නේ 'භූමි සටන් ක්‍රම' යනු සටන් පරාසයක් නොවන බවයි. සැබවින්ම භූමි සටන් ක්‍රම අයත් වන්නේ 'පොර බැඳීමේ පරාසය' ටයි. (Grappling Range) එනම් පොර බැඳීමේ පරාසය සිටගෙන කරනා සටන් හා භූමි සටන් යන සටන් ක්‍රම දෙකටම අයත් වන්නකි.

මෙලෙස ඇරඹෙන්නා වූ භූමි සටන් තවත් අනු කොටස් තුනකට බෙදේ.

ඒවා නම්,

1. ගාන්චු (අගුල් දැමීම - Locks)
2. සිරකිරීම් (ගෙලට දමනා ගැට මඟින් මොලයට යන ලේ ගමනාගමනය අඩාල කරවීම - Chokes)
3. බිම දමාගෙන වැරෙන් පහරදීම. (Ground & Pound)

(මින් පලමු කරුණු දෙක මීට පෙර පල කරන ලද 'ගැටපොර' ලිපියේද අන්තර්ගත වේ. බ්ලොගය පිරික්සන්න!)

සෑම සටන් කලා ශිල්පියෙක්ම භූමි සටන් ක්‍රම දැන සිටීම ඉතා අවැසිය! යම් සටන්කරුවෙක් කෙතරම් දක්ෂ සිටගෙන කරනා සටන්වලදී දක්ෂ වුවත් ඔහු භූමි සටන් ක්‍රම නොදනී නම් එය ඉතා අඩුවකි. සටන් ක්‍රම අතරින් තනි-තනිව කරන සටනකදී ඉතාම ප්‍රායෝගික ක්‍රමය වන්නේ 'භූමි සටන් ක්‍රමයයි.' සතුරාගේ පහරදීමේ හා පහර වැළකීමේ හැකියාව ඉතා හොඳ වූවත් යමෙකු භූමි සටන් ක්‍රමයන්හි සුළු ප්‍රමාණයකට වුවද දක්ෂනම් ඔහුට ඉතා හොඳ පිළිතුරක් එම සටන්කරුවාට දිය හැකිය. ඊට කදිම උදාහරණය වන්නේ යිප්-මාන් ගෙන්ම ඉගෙනගත් සැබෑ සාම්ප්‍රදායික වින්ග් චුන් සටන් කලාව හිමි 'බ්රූස් ලී' ගේ පවා ගෝලයකු වන යිප් මාන් පරපුරේ සෘජු දෙවැනි පුරුක වන 'විලියම් චුන්' ඊට පුරුක්‌ දෙකකට පසුපසින් ආ 'එමීන් බොස්ටෙපේ' ට සැබෑ සටනකදී පරාජය වීමයි. ( යිප්-මාන්..... ලියෝන්ග් ටින්ග්.... එමීන්) ඒ මන්ද යිප් මාන්ගෙන් උගත් ලියෝන්ග් තමා උගත් ශිල්පයට භූමි සටන් ක්‍රම එකතු කරමින් නිර්මාණය කරන ලද නව වින්ග් චුන් ක්‍රමය නිසයි. (එය ලිවීමේදී Wing Tsun ලෙස ලියනු ලබයි. සාම්ප්‍රදායික වින්ග් චුන් Wing Chun ලෙස ලියනු ලබයි.)

මෙන්න ඒ සැබෑ සටන!


'විලියම් චුන්' යනු ලොව තත්පරයකට වැඩිම මුෂ්ටි ප්‍රහාර සංඛ්‍යාවක්‌ එල්ල කර ගීනස්‌ වාර්තාව පිහිටු වූ පුද්ගලයා වන අතර අදටත් එම වාර්තාව කිසිවෙක් බිඳ දමා නොමැත. ( තත්පරයකට මුෂ්ටි ප්‍රහාර 8ක්)

නමුත් ඒ සා විශාල පහරදීමේ හැකියාවක් ඇති විලියම් චුන් එමීන් බොස්ටෙපේ ට පරාජය වන්නේ ඔහු විලියම්ට එරෙහිව භූමි සටන් ක්‍රම යොදාගන්නා හෙයිනි. ප්‍රහාරාත්මක අතින් විලියම් එමීන්ට වඩා කෙතරම් ඉහල වුවත් සිය සාම්ප්‍රදායික වින්ග් චුන් කලාව තුල 'භූමි සටන්' නොමැති නිසා ඔහු දරුණු පරාජයකට ලක් විය. මෙය බලන ඔබට එය මොනවට පැහැදිලි වනු ඇත.

එනමුත් බ්රූස් ලී මෙය වටහාගෙන සිටියේය. කාලෙන් කාලෙට යාවත්කාල වූ සිය සටන් කලාව අවසාන වශයෙන් 'චයිනීස් බොක්සින්' යන නාමය වෙනස් කර 'ජිට් කුන්-ඩො' යන නාමය යොදන සන්ධියේදී එම සටන් කලාවේ නොඅඩුව භූමි සටන් ක්‍රමය අන්තර්ගත විය. ඔහුගේ ජු-ජිට්සු ගුරුවරයා වුයේ 'ගෙනේ ලීබල්) Gene Lebell ය.


භූමි සටන් ක්‍රමවලට බොහෝ සෙයින් ලොව ප්‍රසිද්ධ සටන් කලාවන් අතරින් ඉදිරියෙන් සිටින්නේ 'බ්‍රසීලියන් ජු-ජිට්සු' නම් සටන් කලාවයි.

මෙම වීඩියෝවෙන් දැක්වෙන්නේ භූමි සටන් ගැන දැනුමක් නොමැති ලොව වෙනත් සටන් ශිල්පීන් බ්‍රසීලියන් ජු-ජිට්සු සටන් කරුවන්ට පරාජයට පත් වන ආකාරයයි!


මෙම වීඩියෝවෙන් දැක්වෙන්නේ මා මාගේ සිසුවන්ට ජිට් කුන්-ඩො හි හා බ්‍රසීලියානු ජු-ජිට්සු හි අඩංගු මූලික සිද්ධාන්ත උගන්වන ආකාරයයි!


****************************************************
මෙය ලංකාවේ 'භූමි සටන් ක්‍රම' ගැන සිංහලෙන් පලවන පළමු ලිපියයි! මෙම ලිපියේ සම්පූර්ණ හිමිකම ලොව ප්‍රථම සටන් කලා ෆේස්බුක් පිටුව වනයුධ සටන් කලාව පසුපස ඇති සැබෑ යථාර්ථය. The truth behind the martial art. සතු වන අතර මෙහි උපුටාගැනීම්, පරිවර්තන, සංක්ෂිප්ත, මූලාශ, වචන වෙනස් කොට මෙම ලිපියේම අර්ථයම එන පරිදි සිදුකරන උපුටාගැනීම් හෝ වෙනත් කුමන අයුරකින් සිදුවන පළකිරීමක් ඇත්නම් අනිවාර්යයෙන්ම මෙම කොටස මේ ආකාරයෙන්ම ඇතුලත් කිරීමට වග බලාගත යුතුය!
****************************************************

2 comments:

  1. මන් නම් එකක්වත් අත අරින්නේ නෑ. ඔක්කොම ලිපි ටික කියවනවා. පට්ට.... ඉදිරියට ලියන්න. ඔබට ජයෙන් ජය... මම Fb එකේදිත් comment කරනවා ඉතාමත් අඩු උනත් මුල සිටම ඔබගේ ලිපි කියව විශාල දැනුමක් ලැබුවා.ඔබට බොහොමත්ම ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. අගය කිරීමට ඉතාමත් ස්තුතියි සහෝ! දිගටම රැඳී සිටින්න!
      ජය ශ්‍රී!

      Delete