ලොව ප්‍රචලිත සටන් කලාවන්.

Monday, April 16, 2012

ලොව හොදම, අසමසම සටන් කලාව මෙයයි.....

ඔයාල ගොඩ දෙනෙක් මේ පෝස්ට් එකේ මාතෘකාව දැකපු ගමන්ම ටිකක් කලබල වෙන්න ඇති. නමුත් නිවී හැනහිල්ලේ මේක සම්පූර්ණයෙන්ම කියවන්න. මේ ලිපියේදී මම ටිකක් මගේ ලේඛන ශෛලිය වෙනස් කරලා තියෙන්නේ. මොකද, මේක පූජනීය කරුණක් ගැන කතිකාවතක් නිසා. එම නිසා මම කියවන ඔබලගෙනුත් ඉල්ලා සිටිනවා මේ ලිපිය කියවල ඉවර වෙලා ඔයාලගේ මත ප්‍රබුද්ධ ආකාරයෙන් පමණක් ඉදිරිපත් කරන්න කියල. එසේ නොවන මත මම මෙයින් ඉවත් කරනවා පමණක් නොව ඔවුන්ව ban කිරීමකටද ලක් කරනවා. මම මේ ලිපියේදී ඉතාමත්ම කෙටියෙන් පැහැදිලි ලෙස ඔබ සැමටම වැටහෙන පරිදි මගේ අදහස ඉදිරිපත් කරන්නම්.


හොදයි.. මොකක්ද එහෙනම් මේ ලෝකයේ හොදම, අසමසම සටන් කලාව? මේ ප්‍රශ්නය අපේ ෆේස්බුක් පේජ් එකේ වගේම තවත් හුගක් තැන්වලදී මට දකින්න ලැබිල තියෙනවා. ඒ හා සම්බන්ධයෙන් නොයෙකුත් වාද, විවාද පවා ගොස් අවසානයේදී ඒවා අභියෝගාත්මක සටනක් දක්වාම දුරදිග ගොස් තිබෙනවා. මන්ද, 'කරාටේ හොදය, වින්ග් චුන් හොදය. මුයේ තායි හොදය. අංගම්පොර ලොව ඇති ප්‍රබලතම සටන් ක්‍රමයයි' යනාදී වශයෙන් බුද්ධියෙන් පිරිහුණු උදවිය තර්ක කරන නිසයි. ඒ වගේම තව කට්ටියක් තමන්ගේ මතය උක්ත ප්‍රශ්නයේ පිළිතුර හැටියට ඉදිරිපත් කරන්නේ 'ලොව සියලු සටන් කලා අසමසම වන අතර සටනක දිනුම පැරදුම තීරණය වන්නේ සටන් ශෛලියේ නොව, සටන් ශිල්පියාගේ ශිල්පීය දක්ෂතාවය මත පමණක්' බවය. තවත් පාර්ශවයක් මේ කිසිවක් තෝරාගැනීමට නොහැකිව අතරමං වී සිටියි. ඉතින් මගේ මේ ලිපිය මෙම ප්‍රශ්නය නගන උදවිය ඇතුළුව අනෙක් පාර්ශව තුනටම නිසි පිළිතුරු දෙයි. නමුත් කවදත් මෙන් මෙයටද මෝඩ පුද්ගලයන්ගේ ගල් මුල් ප්‍රහාර එල්ල වනු නොඅනුමානය.

ලොව හොදම, අසමසම සටන් කලාව වන්නේ 'බුදු දහමේ සටන් කලාවයි.' එනම්, 'බුදු දහමයි.' තුන් ලොවේම පරම, නිමල, සත්‍යය වන 'බුදු දහමයි'. දැන් ඇයි මම බුදු දහම සටන් කලාවක් ලෙස හදුන්වන්නේ???

ටිකක් නැවතිල්ලේ හිතල බලන්න. මම සරලම තැන ඉදල පටන් ගන්නම්. මේකේ වැඩිමනක්ම ඉන්නේ සටන්කලා ශිල්පීන්. ඒ වගේම වෘත්තීමය සටන්කරුවන්. තවත් පිරිසක් REALLY FIGHTERS යැයි කියාගන්නා උදවිය. ඉතින් තම දිවියේ එක වරක් හෝ ඔයාල සටනකට මුහුණු දීල ඇති. ඔබ එයින් දිනුම හෝ පැරදුම යන සම්මුති සත්‍යයන් දෙකෙන් එක් ප්‍රතිපලයක් හෝ ලැබ ඇත. පරාජයට පත් වූ අය බොහොමයක් නිසැකයෙන්ම පරාජිත හැගීමක් ජනිත කරගනිමින් එයින් සැමදා පෙළෙමින් පවතී. එමෙන්ම එහි විරුද්ධ පාර්ශවය ජයග්‍රාහී හැගීමකින් ඔද්දල් වනු ඇත. තවත් පාර්ශවයක් එල්ල වුනු පරාජය හමුවේ උත්සාහවත් අන්දමින් පුහුණු වී නැවත අභියෝගයකට සැරසෙයි. දැන් මෙම පාර්ශව තුන අතුරින් ඔබ පරම පුද්ගලයන් ලෙස තෝරාගන්නේ කවුද?? නිවැරදිම පිළිතුර වන්නේ මෙයින් කිසිවක් පරම නොවන බවයි. උදාහරනයක් වශයෙන් මෙහි තෙවන පාර්ශවය ගෙන බලමු. යමෙකු එක් සටනකින් පැරදී, එයින් නොසැලී නොපසුබටව වීර්යයෙන් පුරුදු පුහුණු වී දෙවන වර නැවත සටනකදී ජයග්‍රහණ කෙරුවේ නම් එම සටන්කරුවා අසමසම පරම වන්නේද? ඔහු එයින් සර්ව තෘප්තිමත් වන්නේද? ඔහුගේ දිවියේ සියලු දුක් දොම්නස් දුරු වී සදා සුවය උදා වෙයිද??
දෙවැන්න වන්නේ අපගේ සාමාන්‍ය දිවියයි. මවගේ ඇකයේ සුවය ලැබූ නිර්ව්‍යාජි සිගිත්තා ඇවදීමට පටන් ගන්නා කාලයෙන් ටික කලකට මත්තෙන් අඩ අඩා පෙර පාසල් යයි. ඔහු හෝ ඇය එතකන් සිතනුයේ මෙය ගොසින් අවසන් වූ පසු සුවය ලගා වෙන බවයි. ඊලගට එම දරුවා පාසලට ඇතුළු වෙයි. එවිට ඔහු හැල්මේ දුවන්නේ අම්මලාගේ විභාගේ කිරීමටයි. ඔහු එය නැවතීමේ සලකුණ ලෙස දකින මුත් ඊළගට සා/පෙ ට හැල්මේ දුවයි. සෑම සා/පෙ සිසුවෙක් හා සිසුවියක්ම තමන්ගේ අවසන් මාස කීපය ගත කරන්නේ එයින් පසුව තමාට කුරුල්ලෙක් මෙන් නිදහස ලබනා අයුරු සිතැගියට නගමින්ය. බොහෝ අය සා/පෙ අවසන් දිනයේ ගේට්ටුවෙන් එලියට එන්නේ 'හම්බේ ඇති යන්තම්! යන්තම් ඉවරයි' යනුවෙනි. නමුත් නැවත පසු සතියේම උ/පෙ පන්තිවලට හැල්මේ දුවයි. මීලගට උ/පෙ රස්සේ වැඩි වන ආකාරයටම උ/පෙ සිසුවන්ගේද රස්නේ වැඩි වෙයි. කකුල් බේසම් වල දාගෙන පාඩම් කරනුයේ A+ ගෙන වාසිටි යෑමේ අටියෙනි. එයින් පසු එළබෙන අවුරුද්දක නිවාඩුව හිතෙහි මවා ගනිමින් වැඩ කරයි. උ/පෙ ද අවසන් වෙයි. නමුත් පෙර උ/පෙ කර පරම සැපයක් එතැයි සිතු සියලු දෙනා මහත් දුකට පත්වෙයි. ඒ තමාගේ විදුහල් මාතාවට මෙන්ම ගජ මිතුරන්ටද සමු දීමට වන නිසයි. මීලගට ගෙදර තුල කකුල් අත පය දිගහරිමින් සුවය විදින ඔහු එහිදී මහත් කර්කෂක අත්දැකීමක් ලබයි. එහි ප්‍රතිපලයක් ලෙස ඔහු රස්තියාදුවට වැටෙයි. බොහෝ දෙනා නොමගට යොමු වන්නේද මේ සන්දියේය. මීලගට එම තරුණයා වාසිටි යයි. වාසිටියේදී තම අයිතීන් ඉල්ලා සටන් වදී. අවසානයේදී තම උපාධියද සම්පූර්ණ කරගනී. හොද සල්ලි බාගයක් ලැබෙන රස්සාවක්ද ලැබේ. ඒ අතරතුරද මාස්ටර්ස්, එම්.බී.බී.එස්. වැනි පට්ටම් සදහාද පාඩම් කරයි. පසුව හොද ගෙයක් දොරක් හදාගෙන ආවාහයක්ද, කරගනී. තරු පහේ හෝටල්වල තම විවේක කාලය ගත කරයි.

දැන් තමාගේ කුඩා සන්දියේදී තම පරම බලාපොරොත්තුව හා පරම සුවය ලෙස දොස්තර මහතෙකු, ඉංජිනේරු මහතෙකු වැනි සමාජයේ උසස් යැයි සම්මත පදවිවලට ඒමට සිහින මැවූ ඒ කුඩා දරුවා දැන් ලොකු මහත්තයෙක් වී ඇත. එහෙත් දැන් ඔහුගෙන් ඔබ 'ඔබ දැන් 100% ක් තෘප්තිමත්දැ'යි? ඇසූ කල්හි ඔහුගේ පිළිතුර වන්නේ කුමක්ද?

අද ලෝකයේ මහා ධනවතා වන බිල්ගේට්ස් තමාගේ දිවියේ පරම සුවය ලගාකරගෙන ඇත්ද? ලෝකයේ ලාබාලතම ධනවතා වන ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් තම දිවියේ පරම සුවය ලගා කරගෙන ඇත්ද??

මදකට සිතන්න! මෙය අප සැවොටම මුහුණ දෙන්න වෙන ධර්මතාවයක්. සමහර දේවල් අපි කරන්න අකමැති උනත් අපි කල යුතුම දේවල්. පොඩ්ඩක් බලන්න... අද කාලේ වතුර උගුරක්‌ පවා බොන්න කොයිතරම් නම් සටනක් දෙන්න ඕනෙද කියල?? ඒ අනුව බැලුවොත් ජීවත් වීම කියන්නෙත් සටනක් නේද?? ඒ උනත් මේ සටනේ අවසානයක් තියෙනවද??? අප ඉපදෙනවා. ටිකෙන් ටික ලොකු මහත් වෙනවා. මොහොතින් මොහොත ජීවිතයේ වගකීම් වැඩි වෙනවා. ජීවිතයේ බැරෑරුම්කම ගැන වැටහෙන්න ගන්නවා. අපි දවසේ වැඩකටයුත්තක් අවසන් කරලා සුසුමක් හෙලන්නේ තමන්ට සුවය උදාවෙලා නිසා කියල හිතුවත් ඒ අස්වැසිල්ලත් එක්කම තවත් වැඩකටයුත්තක් එනවා නේද? අපි මේත් එක්කම මොහොතින් මොහොත වයසට. යනවා. ඒ අතරතුර ලෙඩ වෙනවා. ලාභ-අලාභ, යස-අයස, නින්දා-ප්‍රශංසා, සැප-දුක කියන අටලෝ දහමට අපි හැමෝම මුහුණ දීලා අන්තිමට මරණයට මුහුණ දෙන්න වෙනවා නේද? ඒත් එතැනින් ඒක නවතිනවද? ඔබ සතර පෙර නිමිති විශ්වාස කරනවා නේද?

සරල උදාහරණයක්‌ මම ඔයාලට දෙන්නම්. ඔයාල හුගක් වෙලා හිටගෙන ඉන්නකොට ඔයාලට හිතෙනවා දැන් ඉඩගත්තොත් හොදයි කියල. ඒත් ටික වෙලාවක් ඉදගෙන ඉද්දි ඔයාලට හිතෙනවා දැන් ටිකක් හිටගත්තොත් හොදයි කියල. එතකොට මොකක්ද පරම සුවය???

අප එක මොහොතක් සැපයක් කියල හිතන දෙයක් සාක්ෂාත් කරගත් පසුව එය තව දුරටත් සැපයක් වෙනවද? එයින් තෘප්තිමත් වී නවතිනවද???

හොදයි... මේ අනුව ඔයාලට පේනවා ඇති මේ ලෞකික ලෝකයේ පරම සැපතක් නොමැති බව. එතකොට පරම සැපත මොකක්ද?

ආරෝග්‍යයා පරමා ලාභා
සංතුෂ්ටි පරමං ධනං
විශ්වාසා පරමා ඥාති
නිබ්බානං පරමං සුඛං

-ධම්මපදය

ලෞකික ලෝකයේ අප හැල්මේ දුවමින් පරම සුවය සොයන්නට අප කෙතරම් උත්සාහ කරත් පරම සුවයක් මේ ලෞකික ලෝකය තුල අපට කවරදාකවත් අපට නොලැබේ. නමුත් පරම සුවයක් ඇත. ඒ අන් කිසිවක් නොව අලෞකික සත්‍යය ඥානය වන නිර්වාණයයි. මෙම පරම සත්‍යය මාර්ගය සොයාගනු ලබන්නේ ලොව්තුරා බුදුරජාණන්වහන්සේ නමකි. අප මේ වෙසෙන්නේ ගෞතම බුද්ධ ශාසනයෙයි. සෑම බුදුවරයකුගේම දර්ශනය එකය. එනම්, එය 'බුද්ධ දර්ශනයයි'. 

සබ්බ පාපස්ස අකරනං
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියෝ දපනං
ඒත0 බුද්ධානු සාසනං

-ධම්මපදය

යමෙකුට ලොව පරම සුවය ලබාගැනීමට ඇවසි නම් ඔහුට බෞද්ධ දර්ශනයෙන් තොර සරණක් නැත. නමුත් අප දර්ශනයේ පරම ශාස්තෘවරයාණන් වන බුදුරජාණන්වහන්සේට අපව නිවන් දැක්කවිය හැකිද???

බුදුරජාණන් වහන්සේම තම ශ්‍රී මුඛයෙන් වදාල පරිදි උන්වහන්සේ මාර්ගෝපදේශකයකු පමණි. ගමන යා යුත්තේ අපියි.

ඉතින් මෙම නිර්වාන අවබෝධය ඔබ මා මේ කියවන පරිදි සරල මෙහෙයුමක් වන්නේද??? මෙම පරම සුවය ලබාගැනීම මේ තුන් ලොවේම ඇති ශ්‍රේෂ්ඨතම සටනක් නොවන්නේද? එවිට එම සටනින් ජයගන්නා මාර්ගය වන්නේ බුදු දහම නොවන්නේද?? ඒ අනුව බලන කල්හි බුදු දහම මෙලොව පමණක් නොව තුන් ලොවෙහිම ශ්‍රේෂ්ටතම සටන් කලාව නොවන්නේද? එම සටන්කලාව පිළිපදිමින් ලබන නිර්වාණය පරම ජයක් නොවන්නේද?

මෙම පරම සුවය වන නිර්වාණය ලබා ගැනීමට යමෙකු කෙතරම් සටන් කල යුතුද? සාරසංඛේය කල්ප ලක්ෂයකටත් අධික කලක් ඇස්, හිස්, මස්, ලේ ආදිය දන්දෙමින් පාරමිතා පිරු අප මහා සිද්ධාර්ථ බෝසතානන්වහන්සේ අවසානයෙදී මාර පරාජය කොට උතුම් වූ බුද්ධ රාජ්‍යය ලබාගත් අයුරු කෙටියන් පහත දැක්වේ.

මාර පරාජය

සන්ධ්‍යා භාගයෙහි බෝසතුන් බෝ සෙවණ කරා ගමන් කරන අතරමඟ 'සොත්ථිය' නම් බමුණා මුණ ගැසිණ. ඔහු විකිණීම සඳහා කුස තණ මිටි බැඳ, ගෙනයමින් සිටියේය.සංසුන් ඉඳුරන්ගෙන් යුත් බෝසතුන් දුටු හේ බෝසතුනට හිඳීම පිණිස කුසතණ අටමිටක් පුදා ගියේය.
බෝමුල කරා ගිය බෝධිසත්වයන් වහන්සේ එම කුසතණ අටමිට එහි අතුරා එහි පැන නැගී විදුරසුනෙහි අපරාජිත පර්යංකයෙන් වැඩහිඳ, චතුරංග වීර්යය ඉපදවූහ. එනම්,
1. සිරුරෙහි සම් ගැලවී විසිර ගියත් බුදුවී මිස නොනැගිටිමි.
2. සිරුරෙහි නහර ගැලවී විසිර ගියත් බුදුවී මිස නොනැගිටිමි.
3. සිරුරෙහි ඇට කටු ගැලවී විසිර ගියත් බුදුවී මිස නොනැගිටිමි.
4. සිරුරෙහි මස් ලේ විසිර ගියත් බුදුවී මිස නොනැගිටිමි.
 යන දැඩි දෘඪතරවූ අධිෂ්ඨානයෙන් යුතුව වැඩ සිටීමය.
බෝසත්හු දුෂ්කර ක්‍රියා සමයෙහි ඇතැම් ධ්‍යානයන් වැඩීමෙහිදී සිරුර ක්ලාන්තවී වැටුනද එම ක්‍රියා මාර්ගය අත්දැක නිමකරණ තුරුම දැඩි අදිටනින් යුතුව ක්‍රියා කළ බව දුෂ්කර ක්‍රියා සමය පිළිබඳ විස්තරයේදී කියැවිණි.එබැවින් මෙහිදී උන්වහන්සේ 'බුදුවී මිස නොනැගිටිමි' අධිෂ්ඨානය දිවිගියද අත්නොහරින බව පිළිබඳ ස්ථිරසාරවූ අදහසෙහි පිහිටා ක්‍රියා කිරීම අත්භූත වූවක් ලෙස කිසිවකුට බැහැර කරන්නට හේතුවක් නැත.

උන්වහන්සේ එබඳු ස්ථිරසාරවූ මහා අධිෂ්ඨානයෙන් යුතුව බෝමැඩ සෙවනෙහි හිඳ වීර්ය වැඩීම ආරම්භ කළ බව පැහැදිලිය. මෙම උදාර වූ විශිෂ්ඨවූ උත්සාහය පිළිබඳව දැඩිසේ ප්‍රසාදයට පත් දේව සේනාවෝද, බ්‍රහ්ම සේනාවෝද බුදුරදුන් වටා ඒකරාශිව සම්බුද්ධත්වය සාක්‍ෂාත් කිරීමේ එම අසිරිමත් සිද්ධිය දකිනු රිසිව නොඉවසිල්ලෙන්හ.
සිද්ධාර්ථ ගෞතමයන් වහනසේගේ මෙම මහා උත්සාහය තමාගේ විෂය ඉක්මවීමට වෙරදැරීමක් ලෙස කල්පනා කළ වසවර්ති මාරයා එම උත්සාහය අධෛර්යවත් කරවනු පිණිස තම මර සෙනඟ පිරිවරා මහත් බියකරු ඝෝෂාවක් ඇති කරමින් අහස මහත් හඬින් ගුගුරුවන්නාසේ වේගයෙන් එහි පැමිණියේය. මරුගේ බියකරු බව දුටු දෙව් බඹ සේනාවෝ තැති ගෙන හිස් ලූ ලූ අත දිවගිය බව සඳහන්වේ. ගිරිමේඛලා ඇතුපිට නැගි මාරයා බෝසතුන් අභියසට ගොස්, මහා සුළඟක් මැවීය.
එම මහා සුළිසුළඟින් පෙදෙස කම්පාවට පත්වූ නමුත් බෝසත්හු නොසැලී සිටියහ. කෝපවූ මරහු ඝර්ජනා සහිත මහා වර්ෂාවක් ඇති කරවූහ. එම වර්ෂාවෙන් පොළොව සිදුරු වී ගියද බෝසතාණෝ නොසැලී සිටියහ, බලවත් සේ කෝපවූ මාරයා අනතුරුව ගිනිගෙන දිලියෙන පර්වත වර්ෂාවක්ද ආයුධ වර්ෂාවක්ද, වැලි වර්ෂාවක්ද, උණුඅළු වර්ෂාවක්ද, අන්ධකාර පටලයක්ද වශයෙන් නව විධ වර්ෂාවන් ඇතිකළ නමුත් උල්කාපාත බඳුව වැටුණු අව්වැසි පවා බෝසතුන් ලඟ පිදෙන මල් මෙන් පතිත වූ නමුත් කිසිදු හානියක් නොවීය. බෝසත්හු අකම්ප්‍යව නොසෙල්වී සිටියහ. අවසන මාරයා ගිරිමේඛලා ඇතුපිට සිට චක්‍රායුධයෙන් බෝසතුනට දමා ගැසුවේය. එය බෝ සතුන් මුදුනේ වියනක් මෙන් සිටියේය.
“ සිද්ධාර්ථය, තොපට ඔය වජ්‍රාසනය හිමිනැතැ” යි මාරයා කෝපයෙන් හඩගා කී විට, “”එම්බල මාරය පිරූ සමත්‍රිංසත් පාරමී දම් බලැති, ඥානාර්ථ චරියා, ලෝකාර්ථ චරියා, බුද්ධි චරියා සපුරා ඇති මට මිස තට මෙය උරුම නැතැ” යි බෝසත්හු ප්‍රකාශ කළහ. එවිට පාරී දම් පිරූ බවට සාක්ෂි කවරේදැයි මාරයා ප්‍රශ්න කළේය.
මේ මහා පෘථවිය ඊට සාක්ෂි දරණු ඇතැයි බෝසත්හු වජ්‍රාසනයේ සිටම දකුණත මහ පොළොවට දිගුකළහ. මහ පොළොව මහ හඩින් ගුගුරන්නට විය. මාරයා සහ සේනාවද බියපත්ව අත තිබූ දෑ එහිම දමා හිස් ලූ ලූ අත දිව ගියහ. ගිරි මේඛලා ඇතු බෝසතුන් ඉදිරියේ දණ නමා සිටියේය.මාරයා පැරද පලා ගිය බව දුටු දේව, බ්‍රහ්ම සේනාවෝ සාධුකාර දෙමින් එහි පැමිණියහ. මෙම මාර යුද්ධය පිළිබඳ දීර්ඝ විස්තරයක් ජාතක අටුවා නිදානයෙහිද, බුද්ධ වංශ අටුවාවෙහිද ඇතුලත් වන අතර භාරතයේ සාංචි හා නාගර්ජුන කොණ්ඩ මෙන්ම, ගන්ධාර කැටයම්වලද නිරූපනය කර තිබේ.
බුදුවීමට පෙර බෝසතුන් 1. කාමය, 2. අරතිය, 3. සාපිපාසාව 4. තෘෂ්ණාව, 5. ථිනමිද්ධය, 6. භය, 7. විචිකිච්ඡාව (එනම් සැකය,) 8. ගුණමකුබව හා දැඩිබව, 9. ලාභ, සත්කාර හා වැරදි මාර්ගයන්ගෙන් ලබන යසස, 10. තමන් උසස් කොට සලකමින් අනුන් පහත් කොට තැකීම යන දස මරසෙන් පලවා හැරි බවත්, ගිරිමෙවුල් ඇතු පිට නැග පැමිණ මාරයා ඉදිරියෙහි නොසැලී සිට ඔහු පරාජය කෙළේයැයි සුත්තිනිපාතයේ ප්‍රධාන සූත්‍රය විස්තරවේ.
මෙය වනාහි බෝසතුන් බුදුවීමට පෙර කෙලෙස් මුලිනුපුටා දැමීම ලෙස ඇතැම් උගතකු විසින් විස්තර කරණු දැකිය හැකිය. එහෙත් වසවර්ති මාරයා නම් දිව්‍ය පුත්‍රයා බුදුරදුන් පසු පස බුදුවීත් කලක් යන තුරු නොයෙක් සතුරුකම් කරමින් ගමන් කළ බව සංයුක්ත නිකායේ මාර සංයුක්තයේ ඇතුලත් සමහර සූත්‍රයකින් කියැවේ. පංච මාරයන් ගැනද තවත් තැනෙක විස්තර වේ.


ඒ අනුව බලනකල්හි 'මාර පරාජය' යනු තුන් ලොවේම ඇති ශ්‍රේෂ්ටතම සටනයි. සැබවින්ම බලනකල්හි මාර පරාජය යනු 'තෘෂ්ණාව සහමුලින් උදුරා දමා තමා ජය ගැනීමේ සටනයි.' එම සටන කල යුතු කලාව බුදු දහමයි. ඒ අනුව බලන කල්හි බුදු දහම යනු තවත් අයුරකින් පැවසුවහොත් සදාකල්ම තුන් ලොවේම ඇති ශ්‍රේෂ්ටතම, අසමසම සටන් කලාවයි.

ඉතින් තමුන් වෙන මොන සටන් කලාව හැදෑරුවත් ඒ සියල්ලටම වඩා උසස් බුදු දහමේ සටන් කලාව අනිවාර්යයෙන්ම පිළිපදින්න!

****සැලකිලිමත් වන්න!!! මෙම ලිපියට මුලධර්මවාදීන් ඔබගේ හැගීම් ඇවිස්සෙන අන්දමේ ප්‍රකාශ සිදු කරනු ඇත. ඒවාට නොකිපී අසභ්‍යය ලෙස ප්‍රතිචාර නොදක්වන්න! මන්ද, ඔවුන්ට අවැසි වන්නේද එයයි. එවැනි මූලධර්මවාදී කමෙන්ටු අප ඉවත් කරන අතර ඔවුන්ව ban කරනු ලැබේ.*********

තෙරුවන් සරණයි!

~Shorin-Ryu

*මෙම ලිපියේ සම්පූර්ණ කතෘ අයිතිය Shorin-Ryu (http://www.facebook.com/shorin.ryu2?ref=ts) වන මා සතු වන අතර මෙහි සදහන් සියලු කරුණුවල වගකීම 100% ක්ම මා සතුය. මෙම ලිපිය සම්බන්ධයෙන් අපගේ කණ්ඩායමේ අන් කිසිදු ඇඩ්මින්වරයෙකු වගකියනු නොලබයි.

මේ වගේ POSTS ඔයාලට ගේන්නේ 'යුධ සටන් කලාව පසුපස ඇති සැබෑ යථාර්ථය. The truth behind the martial art.' වන අප පමණයි!

So,

PRESS 'L' FOR THE NEXT POST!!!

SHARE AND LIKE US!!!! 
╔═════════════════╗
http://www.facebook.com/thetruthbehindthemartialart
╚═════════════════╝

No comments:

Post a Comment